An-Naml

سورة النمل

සූරා 27 · මක්කා · 93 පද

27:1ජුස් 19 · පි. 377

طس ۚ تِلْكَ آيَاتُ الْقُرْآنِ وَكِتَابٍ مُبِينٍ1

තා, සීන්. එය අල් කුර්ආනයේ හා පැහැදිලි ග්‍රන්ථයේ වදන්ය.
27:2ජුස් 19 · පි. 377

هُدًى وَبُشْرَىٰ لِلْمُؤْمِنِينَ2

දෙවියන් විශ්වාස කළවුනට මග පෙන්වීමක් හා සුබාශිංසනයකි.
27:3ජුස් 19 · පි. 377

الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ بِالْآخِرَةِ هُمْ يُوقِنُونَ3

ඔවුන් වනාහි සලාතය විධිමත් ව ඉටු කරති. සකාත්ද පිරිනමති. තවද මතුලොව පිළිබඳ තරයේ විශ්වාස කරනුයේ ඔවුහුය.
27:4ජුස් 19 · පි. 377

إِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ زَيَّنَّا لَهُمْ أَعْمَالَهُمْ فَهُمْ يَعْمَهُونَ4

නියත වශයෙන්ම මතුලොව පිළිබඳ විශ්වාස නොකරන්නන් වනාහි අපි ඔවුනට ඔවුන්ගේ ක්‍රියාවන් අලංකාර කර පෙන්වූයෙමු. එහෙයින් ඔවුහු (එහි) ව්‍යාකූලත්වයෙන් පෙළෙති.
27:5ජුස් 19 · පි. 377

أُولَٰئِكَ الَّذِينَ لَهُمْ سُوءُ الْعَذَابِ وَهُمْ فِي الْآخِرَةِ هُمُ الْأَخْسَرُونَ5

නපුරු දඬුවම තමන්හට සතු වූවෝ ඔවුහුමය. තවද මතුලොවෙහි දැඩි අලාභවන්තයෝ ද ඔවුහුමය.
27:6ජුස් 19 · පි. 377

وَإِنَّكَ لَتُلَقَّى الْقُرْآنَ مِنْ لَدُنْ حَكِيمٍ عَلِيمٍ6

(නබිවරය,) තවද සර්වඥානී මහා ප්‍රඥාවන්තයාගෙන් නියත වශයෙන්ම නුඹට අල් කුර්ආනය දෙනු ලැබුවෙහිය.
27:7ජුස් 19 · පි. 377

إِذْ قَالَ مُوسَىٰ لِأَهْلِهِ إِنِّي آنَسْتُ نَارًا سَآتِيكُمْ مِنْهَا بِخَبَرٍ أَوْ آتِيكُمْ بِشِهَابٍ قَبَسٍ لَعَلَّكُمْ تَصْطَلُونَ7

නියත වශයෙන්ම මම ගින්නක් දුටුවෙමි. යම් තොරතුරක් මම එයින් නුඹලා වෙත ගෙන එන්නෙමි. එසේ නැතහොත් නුඹලා (සීතලෙන්) උණුසුම ලැබිය හැකි වනු පිණිස ගිනි පෙනෙල්ලක් නුඹලා වෙත ගෙන එන්නෙමි යැයි මූසා තම පවුලට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
27:8ජුස් 19 · පි. 377

فَلَمَّا جَاءَهَا نُودِيَ أَنْ بُورِكَ مَنْ فِي النَّارِ وَمَنْ حَوْلَهَا وَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَالَمِينَ8

එසේ ඔහු එහි පැමිණි කල්හි ගින්නෙහි සිටින්නා හා ඒ අවට සිටියවුන් ආශිර්වාද කරනු ලැබීය. තවද සර්ව ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් සුවිශුද්ධය යැයි ඔහු අමතනු ලැබීය.
27:9ජුස් 19 · පි. 377

يَا مُوسَىٰ إِنَّهُ أَنَا اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ9

(එවිට) අහෝ ! මූසා, නියත වශයෙන්ම මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ් මම වෙමි.
27:10ජුස් 19 · පි. 377

وَأَلْقِ عَصَاكَ ۚ فَلَمَّا رَآهَا تَهْتَزُّ كَأَنَّهَا جَانٌّ وَلَّىٰ مُدْبِرًا وَلَمْ يُعَقِّبْ ۚ يَا مُوسَىٰ لَا تَخَفْ إِنِّي لَا يَخَافُ لَدَيَّ الْمُرْسَلُونَ10

තවද නුඹගේ සැරයටිය හෙළනු. එය සර්පයකු සේ සලිත වනු ඔහු දුටු කල්හි පසුපස හැරී දිව්වේය. තවද ඔහු නැවත හැරී නොබැලුවේය. අහෝ මූසා! නුඹ බිය නොවනු. නියත වශයෙන්ම මම වනාහි, මා ඉදිරියේ දූතයෝ බිය නොවෙති.
27:11ජුස් 19 · පි. 377

إِلَّا مَنْ ظَلَمَ ثُمَّ بَدَّلَ حُسْنًا بَعْدَ سُوءٍ فَإِنِّي غَفُورٌ رَحِيمٌ11

නමුත් අපරාධයක් සිදු කොට අනතුරු ව නපුරකින් පසු යහපතක් බවට (එය) පත් කළ අය හැර. එහෙයින් නියත වශයෙන්ම මම අතික්ෂමාශීලී මහා කරුණාන්විතයාණන් වෙමි.
27:12ජුස් 19 · පි. 377

وَأَدْخِلْ يَدَكَ فِي جَيْبِكَ تَخْرُجْ بَيْضَاءَ مِنْ غَيْرِ سُوءٍ ۖ فِي تِسْعِ آيَاتٍ إِلَىٰ فِرْعَوْنَ وَقَوْمِهِ ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ12

නුඹගේ අත නුඹගේ සාක්කුව තුළට දමනු. එවිට කිසිදු හානියකින් තොරව සුදුවන් ලෙසින් (බැබළෙමින්) එය පිටවනු ඇත. එය ෆිර්අවුන් හා ඔහුගේ ජනයා වෙත වූ ප්‍රාතිහාර්යයන් නවය අතර විය. නියත වශයෙන්ම ඔවුහු දුෂ්ට පිරිසක් වූහ.
27:13ජුස් 19 · පි. 377

فَلَمَّا جَاءَتْهُمْ آيَاتُنَا مُبْصِرَةً قَالُوا هَٰذَا سِحْرٌ مُبِينٌ13

අපගේ සංඥාවන් ඔවුන් වෙත පෙනෙන්නට පැමිණි කල්හි මෙය පැහැදිලි හූනියමක් යැයි ඔවුහු පැවසූහ.
27:14ජුස් 19 · පි. 378

وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنَتْهَا أَنْفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا ۚ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِينَ14

තවද ඔවුන්ගේ ආත්මයන් එය පිළිගන්නා තත්ත්වයේ තිබියදීත් අසාධාරණ ලෙසින් හා පුහුමානයෙන් යුතු ව ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝය. එහෙයින් කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹ අවධානයෙන් බලනු.
27:15ජුස් 19 · පි. 378

وَلَقَدْ آتَيْنَا دَاوُودَ وَسُلَيْمَانَ عِلْمًا ۖ وَقَالَا الْحَمْدُ لِلَّهِ الَّذِي فَضَّلَنَا عَلَىٰ كَثِيرٍ مِنْ عِبَادِهِ الْمُؤْمِنِينَ15

තවද සැබැවින්ම අපි දාවූද් හා සුලෙයිමාන්ට ඥානය පිරිනැමුවෙමු. තවද ඔහුගේ ගැත්තන් අතුරින් දෙවියන් විශ්වාස කරන බොහෝමයක් දෙනාට වඩා අප උසස් කළ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා යැයි ඔවුන් දෙදෙනා පවසා සිටියහ.
27:16ජුස් 19 · පි. 378

وَوَرِثَ سُلَيْمَانُ دَاوُودَ ۖ وَقَالَ يَا أَيُّهَا النَّاسُ عُلِّمْنَا مَنْطِقَ الطَّيْرِ وَأُوتِينَا مِنْ كُلِّ شَيْءٍ ۖ إِنَّ هَٰذَا لَهُوَ الْفَضْلُ الْمُبِينُ16

සුලෙයිමාන් දාවුද්ට උරුමකම් පෑවේය. අහෝ ජනයිනි! කුරුලු බස අපට උගන්වනු ලැබීය. තවද සෑම දෙයකින්ම අපට පිරිනමනු ලැබීය. නියත වශයෙන්ම එය පැහැදිලි අනුග්‍රහයකි යැයි ඔහු පැවසීය.
27:17ජුස් 19 · පි. 378

وَحُشِرَ لِسُلَيْمَانَ جُنُودُهُ مِنَ الْجِنِّ وَالْإِنْسِ وَالطَّيْرِ فَهُمْ يُوزَعُونَ17

සුලෙයිමාන් වෙනුවෙන් ජින්නුන්ගෙන් ද මිනිසුන්ගෙන් ද පක්ෂීන්ගෙන් ද යුත් ඔහුගේ සේනාව එක් රැස් කරන ලදී. පසු ව ඔවුන් පෙළගස්වා ගමන් කරවනු ලැබීය.
27:18ජුස් 19 · පි. 378

حَتَّىٰ إِذَا أَتَوْا عَلَىٰ وَادِ النَّمْلِ قَالَتْ نَمْلَةٌ يَا أَيُّهَا النَّمْلُ ادْخُلُوا مَسَاكِنَكُمْ لَا يَحْطِمَنَّكُمْ سُلَيْمَانُ وَجُنُودُهُ وَهُمْ لَا يَشْعُرُونَ18

කුහුඹුවන්ගේ මිටියාවතට ඔවුන් පැමිණි විට, අහෝ කුහුඹුවනි! නුඹලාගේ නවාතැන් තුළට පිවිසෙනු. සුලෙයිමාන් හා ඔහුගේ සේනාව ඔවුන් නොදැනුවත් ව නුඹලා පාගා නොදැමිය යුතු යැයි කුහුඹියෙක් කීවාය.
27:19ජුස් 19 · පි. 378

فَتَبَسَّمَ ضَاحِكًا مِنْ قَوْلِهَا وَقَالَ رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَىٰ وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَدْخِلْنِي بِرَحْمَتِكَ فِي عِبَادِكَ الصَّالِحِينَ19

උගේ කතාව හේතුවෙන් ඔහු (සුලෙය්මාන්) මද සිනහ පා, මාගේ පරමාධිපතියාණනි, නුඹ මා හා මාගේ දෙමාපියන් වෙත දායාද කළ ආශිර්වාදයන් සඳහා මා කෘතවේදී වීමටත් නුඹ පිළිගන්නා අයුරින් දැහැමි දෑ මා සිදු කිරීමටත් මට නුඹ දායාද කරනු මැනව! තවද නුඹගේ කරුණාව තුළින් නුඹගේ දැහැමි ගැත්තන් අතරට මා ඇතුළත් කරනු මැනව! යැයි පැවසීය.
27:20ජුස් 19 · පි. 378

وَتَفَقَّدَ الطَّيْرَ فَقَالَ مَا لِيَ لَا أَرَى الْهُدْهُدَ أَمْ كَانَ مِنَ الْغَائِبِينَ20

තවද ඔහු පක්ෂියා සෙවීය. හුද් හුද් කුරුල්ලා මා නොදකිනුයේ ඇයි? නැතහොත් ඌ නොපැමිණියවුන් අතුරින් වීදැ?යි ඔහු පැවසීය.
27:21ජුස් 19 · පි. 378

لَأُعَذِّبَنَّهُ عَذَابًا شَدِيدًا أَوْ لَأَذْبَحَنَّهُ أَوْ لَيَأْتِيَنِّي بِسُلْطَانٍ مُبِينٍ21

මම ඌට දැඩි දඬුවමකින් දඬුවම් කරමි. එසේ නැතහොත් මම ඌ කපා දමමි. එසේත් නැතහොත් ඌ (නිදහසට කරුණු දක්වමින්) පැහැදිලි බලවත් සාධකයක් මා වෙත ගෙන ආ යුතුය.
27:22ජුස් 19 · පි. 378

فَمَكَثَ غَيْرَ بَعِيدٍ فَقَالَ أَحَطْتُ بِمَا لَمْ تُحِطْ بِهِ وَجِئْتُكَ مِنْ سَبَإٍ بِنَبَإٍ يَقِينٍ22

නමුදු වැඩි වේලාවක් ගත වූයේ නැත. එවිට ඌ ‘නුඹ කවර දෙයක් ග්‍රහණය නොකළේ ද එවන්නක් මා ග්‍රහණය කළෙමි. මම සබඃ දේශයේ සිට විශ්වාසනීය පුවතක් සමග නුඹ වෙත පැමිණියෙමි’ යැයි පැවසීය.
27:23ජුස් 19 · පි. 379

إِنِّي وَجَدْتُ امْرَأَةً تَمْلِكُهُمْ وَأُوتِيَتْ مِنْ كُلِّ شَيْءٍ وَلَهَا عَرْشٌ عَظِيمٌ23

නියත වශයෙන් ඔවුන් පාලනය කරන කාන්තාවක් මම දුටිමි. ඇයට සියලු දැයින් පිරිනමනු ලැබ තිබේ. තවද ඇයට මහත් වූ රාජාසනයක් ද ඇත.
27:24ජුස් 19 · පි. 379

وَجَدْتُهَا وَقَوْمَهَا يَسْجُدُونَ لِلشَّمْسِ مِنْ دُونِ اللَّهِ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبِيلِ فَهُمْ لَا يَهْتَدُونَ24

ඇය හා ඇයගේ ජනයා අල්ලාහ්ගෙන් තොර ව හිරුට සුජූද් කරනු මම දුටුවෙමි. තවද ඔවුනට ඔවුන්ගේ ක්‍රියාවන් ෂෙයිතාන් අලංකාර කර පෙන්වා එම (ඍජු) මාර්ගයෙන් ඔවුන් වළක්වා ඇත. එහෙයින් ඔවුහු මගපෙන්වීම් නොලබති.
27:25ජුස් 19 · පි. 379

أَلَّا يَسْجُدُوا لِلَّهِ الَّذِي يُخْرِجُ الْخَبْءَ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَيَعْلَمُ مَا تُخْفُونَ وَمَا تُعْلِنُونَ25

අහස්හි හා මහපොළොවෙහි සැඟවුණු රහස් හෙළි කරන්නා වූ අල්ලාහ්ට ඔවුන් සුජූද් නොකරන මෙන් (පවසා වැළැක්වීය.) තවද නුඹලා සඟවන දෑ හා නුඹලා හෙළි කරන දෑ ඔහු(අල්ලාහ්) දනියි.
27:26ජුස් 19 · පි. 379

اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ ۩26

අල්ලාහ් වන ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. ඔහු අතිමහත් සර්ව රාජ්‍යයේ හිමිපාණන්ය.
27:27ජුස් 19 · පි. 379

۞ قَالَ سَنَنْظُرُ أَصَدَقْتَ أَمْ كُنْتَ مِنَ الْكَاذِبِينَ27

නුඹ සත්‍ය පැවසුවෙහි ද එසේ නැතහොත් නුඹ මුසාවාදීන් අතුරින් දැයි අපි බලා සිටිමු යැයි ඔහු පැවසුවේය.
27:28ජුස් 19 · පි. 379

اذْهَبْ بِكِتَابِي هَٰذَا فَأَلْقِهْ إِلَيْهِمْ ثُمَّ تَوَلَّ عَنْهُمْ فَانْظُرْ مَاذَا يَرْجِعُونَ28

නුඹ මාගේ මෙම ලිපිය රැගෙන ගොස් ඔවුන් වෙත දමා පසු ව ඔවුන්ගෙන් නුඹ හැරී එනු. ඔවුන් කුමන ප්‍රතිචාරයක් දක්වන්නේ දැයි නුඹ අධීක්ෂණය කරනු. (යැයි පැවසීය)
27:29ජුස් 19 · පි. 379

قَالَتْ يَا أَيُّهَا الْمَلَأُ إِنِّي أُلْقِيَ إِلَيَّ كِتَابٌ كَرِيمٌ29

අහෝ ප්‍රධානියනි! නියත වශයෙන්ම මා වෙත උතුම් ලිපියක් දමා ගොස් ඇත යැයි ඇය පැවසුවාය.
27:30ජුස් 19 · පි. 379

إِنَّهُ مِنْ سُلَيْمَانَ وَإِنَّهُ بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ30

නියත වශයෙන්ම එය සුලයිමාන්ගෙනි. තවද නියත වශයෙන්ම එය අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විතයාණන්ගේ නාමයෙන් වූවකි.
27:31ජුස් 19 · පි. 379

أَلَّا تَعْلُوا عَلَيَّ وَأْتُونِي مُسْلِمِينَ31

නුඹලා මට එරෙහි ව අහංකාර නොවනු. තවද නුඹලා මා වෙත අවනත වන්නන් ලෙසින් පැමිණෙනු. (යැයි එම ලිපියේ සඳහන් ව ඇත.)
27:32ජුස් 19 · පි. 379

قَالَتْ يَا أَيُّهَا الْمَلَأُ أَفْتُونِي فِي أَمْرِي مَا كُنْتُ قَاطِعَةً أَمْرًا حَتَّىٰ تَشْهَدُونِ32

අහෝ ප්‍රධානියනි! මාගේ විෂයයෙහි නුඹලා මට තීන්දු ලබා දෙනු. නුඹලා සාක්ෂි පවසන තෙක් මම කිසිදු කරුණක් සිදු කරන්නියක් නොවූයෙමි යැයි පැවසුවාය.
27:33ජුස් 19 · පි. 379

قَالُوا نَحْنُ أُولُو قُوَّةٍ وَأُولُو بَأْسٍ شَدِيدٍ وَالْأَمْرُ إِلَيْكِ فَانْظُرِي مَاذَا تَأْمُرِينَ33

අපි බලවත් උදවියයි. දැඩි සටන් කාමී උදවියයි. කරුණ ඔබ වෙතය. එහෙයින් ඔබ නියෝග කරනුයේ කුමක් දැයි ඔබ ම බලනු යැයි ඔවුහු (ඇයට) පැවසූහ.
27:34ජුස් 19 · පි. 379

قَالَتْ إِنَّ الْمُلُوكَ إِذَا دَخَلُوا قَرْيَةً أَفْسَدُوهَا وَجَعَلُوا أَعِزَّةَ أَهْلِهَا أَذِلَّةً ۖ وَكَذَٰلِكَ يَفْعَلُونَ34

නියත වශයෙන්ම රජවරු දේශයකට පිවිසුණහොත් එහි කලහකම් ඇති කරති. එහි වැසියන් අතර වූ වැදගත් පුද්ගලයින් පහත් තත්ත්වයට පත් කරති. එලෙසය ඔවුන් සිදු කරනුයේ.
27:35ජුස් 19 · පි. 379

وَإِنِّي مُرْسِلَةٌ إِلَيْهِمْ بِهَدِيَّةٍ فَنَاظِرَةٌ بِمَ يَرْجِعُ الْمُرْسَلُونَ35

තවද නියත වශයෙන්ම මම ඔවුන් වෙත ත්‍යාග එවා දූතවරුන් කවර දෙයක් නැවත ගෙන එන්නේ දැයි බලා සිටිමි.
27:36ජුස් 19 · පි. 380

فَلَمَّا جَاءَ سُلَيْمَانَ قَالَ أَتُمِدُّونَنِ بِمَالٍ فَمَا آتَانِيَ اللَّهُ خَيْرٌ مِمَّا آتَاكُمْ بَلْ أَنْتُمْ بِهَدِيَّتِكُمْ تَفْرَحُونَ36

එවිට සුලෙයිමාන් වෙත (දූතයා) ඔහු පැමිණි කල්හි නුඹලා මට ධනයෙන් උදව් කරන්නෙහු ද? එසේ නම් නුඹලා මට පිරිනමන දෑට වඩා අල්ලාහ් මට පිරිනමා ඇති දෑ උතුම්ය. නමුත් නුඹලා නුඹලාගේ ත්‍යාග පිළිබඳ ව සතුටු වන්නෙහුය.
27:37ජුස් 19 · පි. 380

ارْجِعْ إِلَيْهِمْ فَلَنَأْتِيَنَّهُمْ بِجُنُودٍ لَا قِبَلَ لَهُمْ بِهَا وَلَنُخْرِجَنَّهُمْ مِنْهَا أَذِلَّةً وَهُمْ صَاغِرُونَ37

නුඹ නැවත ඔවුන් වෙත හැරී යනු. සැබැවින්ම ඔවුන් එයට මුහුණ දිය නොහැකි සේනාවක් ඔවුන් වෙත අපි ගෙන එන්නෙමු. තවද ඔවුන් අවමානයට ලක් වූ පහත් වූවන් ලෙසින් එයින් ඔවුන් ව අපි පිටුවහල් කරන්නෙමු.
27:38ජුස් 19 · පි. 380

قَالَ يَا أَيُّهَا الْمَلَأُ أَيُّكُمْ يَأْتِينِي بِعَرْشِهَا قَبْلَ أَنْ يَأْتُونِي مُسْلِمِينَ38

අහෝ ප්‍රධානියනි! ඔවුන් මා වෙත අවනතවූවන් (මුස්ලිම්වරුන්) ලෙසින් පැමිණීමට පෙර ඇයගේ රාජාසනය මා වෙත ගෙන එන්නේ නුඹලාගෙන් කවරෙකු දැයි ඔහු (සුලෙයිමාන්) විමසීය.
27:39ජුස් 19 · පි. 380

قَالَ عِفْرِيتٌ مِنَ الْجِنِّ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَنْ تَقُومَ مِنْ مَقَامِكَ ۖ وَإِنِّي عَلَيْهِ لَقَوِيٌّ أَمِينٌ39

ඔබේ ස්ථානයෙන් ඔබ නැගිට සිටීමට පෙර මම එය ඔබ වෙත ගෙන එන්නෙමි. තවද නියත වශයෙන්ම මම ඒ වෙත ශක්තිය ඇති විශ්වාසනීය අයෙකි යැයි ජින්නුන් අතුරින් බලවතෙක් පැවසීය.
27:40ජුස් 19 · පි. 380

قَالَ الَّذِي عِنْدَهُ عِلْمٌ مِنَ الْكِتَابِ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَنْ يَرْتَدَّ إِلَيْكَ طَرْفُكَ ۚ فَلَمَّا رَآهُ مُسْتَقِرًّا عِنْدَهُ قَالَ هَٰذَا مِنْ فَضْلِ رَبِّي لِيَبْلُوَنِي أَأَشْكُرُ أَمْ أَكْفُرُ ۖ وَمَنْ شَكَرَ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ ۖ وَمَنْ كَفَرَ فَإِنَّ رَبِّي غَنِيٌّ كَرِيمٌ40

ඔබේ ඇසිපිය ඔබ වෙත ළඟා වීමට මත්තෙන් මම එය ඔබ වෙත ගෙන එන්නෙමි යැයි දේව ග්‍රන්ථය පිළිබඳ ඥානය ඇත්තෙකු පැවසීය. තම අසල එය තිබෙනු ඔහු දුටු කල්හි මම ගුණගරුක වන්නෙම් ද එසේ නැතහොත් ගුණමකු වන්නෙම් දැයි මා පරීක්ෂා කරනු පිණිස මාගේ පරමාධිපතියාගෙන් වූ භාග්‍යයකි මෙය යැයි පැවසීය. තවද කවරෙකු ගුණගරුක වූයේ ද එසේ ගුණගරුක වනුයේ තමන් වෙනුවෙන්මය. තවද කවරෙක ගුණමකු වූයේ ද එවිට නියත වශයෙන්ම මාගේ පරමාධිපති අවශ්‍යතාවන්ගෙන් තොර වූ උපකාරශීලීය. (යන වග දැන ගත යුතුය.)
27:41ජුස් 19 · පි. 380

قَالَ نَكِّرُوا لَهَا عَرْشَهَا نَنْظُرْ أَتَهْتَدِي أَمْ تَكُونُ مِنَ الَّذِينَ لَا يَهْتَدُونَ41

ඇයගේ රාජාසනය ඇයට හඳුනා ගත නොහැකි බවට නුඹලා පත් කරනු. ඇය ඒ ගැන නිවැරදි ව හඳුනා ගන්නී ද එසේ නැතහොත් නිවරැදි ව හඳුනා නොගන්නවුන් අතුරින් වන්නී දැ?යි අපි බලමු යැයි ඔහු පැවසීය.
27:42ජුස් 19 · පි. 380

فَلَمَّا جَاءَتْ قِيلَ أَهَٰكَذَا عَرْشُكِ ۖ قَالَتْ كَأَنَّهُ هُوَ ۚ وَأُوتِينَا الْعِلْمَ مِنْ قَبْلِهَا وَكُنَّا مُسْلِمِينَ42

පසු ව ඇය පැමිණි කල්හි ඔබගේ රාජාසනය මෙලෙස දැයි විමසනු ලැබීය. ඇය නියත වශයෙන්ම මෙය එයමය යැයි පැවසුවාය. තවද එයට පෙර අප වෙත ඥානය දෙනු ලැබුවෙමු. තවද අපි අවනත වන්නන් (මුස්ලිම්වරුන්) වූයෙමු.
27:43ජුස් 19 · පි. 380

وَصَدَّهَا مَا كَانَتْ تَعْبُدُ مِنْ دُونِ اللَّهِ ۖ إِنَّهَا كَانَتْ مِنْ قَوْمٍ كَافِرِينَ43

අල්ලාහ්ගෙන් තොර ව ඇය නමදිමින් සිටි දෑ ඇය ව වැළැක්වීය. නියත වශයෙන්ම ඇය දෙවියන් ප්‍රතික්ෂේප කළ ජනයා අතුරින් කෙනෙකු විය.
27:44ජුස් 19 · පි. 380

قِيلَ لَهَا ادْخُلِي الصَّرْحَ ۖ فَلَمَّا رَأَتْهُ حَسِبَتْهُ لُجَّةً وَكَشَفَتْ عَنْ سَاقَيْهَا ۚ قَالَ إِنَّهُ صَرْحٌ مُمَرَّدٌ مِنْ قَوَارِيرَ ۗ قَالَتْ رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي وَأَسْلَمْتُ مَعَ سُلَيْمَانَ لِلَّهِ رَبِّ الْعَالَمِينَ44

ඔබ මාලිගාවට ඇතුළු වනු යැයි ඇයට කියනු ලැබීය. ඇය එය දුටු විට ජලයෙන් පිරුණු තටාකයක් යැයි සිතුවාය. ඇය ඇයගේ වස්ත්‍රය ඇයගේ කෙණ්ඩයෙන් ඉවතට (ඔසවා) ගත්තාය. නියත වශයෙන්ම මෙය පළිඟුවලින් මුසු වූ මාලිගාවක් යැයි ඔහු පැවසීය. මාගේ පරමාධිපතියාණනි, නියත වශයෙන්ම මම මට ම අපරාධ කර ගත්තෙමි. තවද මම සුලෙයිමාන් සමග සර්ව ලෝකයන්හි හිමිපාණන් වූ අල්ලාහ්ට අවනත වූයෙමි යැයි ඇය පැවසුවාය.
27:45ජුස් 19 · පි. 381

وَلَقَدْ أَرْسَلْنَا إِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَالِحًا أَنِ اعْبُدُوا اللَّهَ فَإِذَا هُمْ فَرِيقَانِ يَخْتَصِمُونَ45

තවද නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු යැයි (නියෝග කරමින්) සැබැවින්ම අපි සමූද් ජනයා වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් ව එව්වෙමු. එවිට ඔවුහු වාද කරගන්නා දෙපිරිසක් වූහ.
27:46ජුස් 19 · පි. 381

قَالَ يَا قَوْمِ لِمَ تَسْتَعْجِلُونَ بِالسَّيِّئَةِ قَبْلَ الْحَسَنَةِ ۖ لَوْلَا تَسْتَغْفِرُونَ اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ46

මාගේ ජනයිනි, යහකමට පෙර පාපකම සොයන්නට නුඹලා ඉක්මන් වනුයේ ඇයි? නුඹලා කරුණා කරනු ලබනු පිණිස නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිය යුතු නොවේ දැයි ඔහු පැවසීය.
27:47ජුස් 19 · පි. 381

قَالُوا اطَّيَّرْنَا بِكَ وَبِمَنْ مَعَكَ ۚ قَالَ طَائِرُكُمْ عِنْدَ اللَّهِ ۖ بَلْ أَنْتُمْ قَوْمٌ تُفْتَنُونَ47

නුඹ හා නුඹ සමග වූවන් අපට අසුබ පෙර නිමිත්තකි යැයි ඔවුහු පැවසූහ. නුඹලාගේ අසුබවාදය අල්ලාහ් වෙතිනි. නමුත් නුඹලා පරීක්ෂණයට භාජනය කරනු ලබන පිරිසකි යැයි ඔහු පැවසීය.
27:48ජුස් 19 · පි. 381

وَكَانَ فِي الْمَدِينَةِ تِسْعَةُ رَهْطٍ يُفْسِدُونَ فِي الْأَرْضِ وَلَا يُصْلِحُونَ48

මහපොළොවේ කලහකම් කරන එමෙන්ම විධිමත් නොකරන කණ්ඩායම් නවයක් එම නගරයේ විය.
27:49ජුස් 19 · පි. 381

قَالُوا تَقَاسَمُوا بِاللَّهِ لَنُبَيِّتَنَّهُ وَأَهْلَهُ ثُمَّ لَنَقُولَنَّ لِوَلِيِّهِ مَا شَهِدْنَا مَهْلِكَ أَهْلِهِ وَإِنَّا لَصَادِقُونَ49

නියත වශයෙන්ම ඔහු හා ඔහුගේ පවුල අපි රාත්‍රියේ මරා දමමු. පසු ව ඔහුගේ පවුලේ විනාශය අපි නොදුටුවෙමු යැයි ද නියත වශයෙන්ම අපි සත්‍යාවාදීහු යැයි ද ඔහුගේ භාරකරුට පවසන්නෙමු යැයි ඔවුහු පැවසූහ.
27:50ජුස් 19 · පි. 381

وَمَكَرُوا مَكْرًا وَمَكَرْنَا مَكْرًا وَهُمْ لَا يَشْعُرُونَ50

ඔවුහු කුමන්ත්‍රණයකින් කුමන්ත්‍රණය කළෝය. අප ද ඔවුන් නොහඟමින් සිටිය දී කුමන්ත්‍රණයකින් කුමන්ත්‍රණය කළෙමු.
27:51ජුස් 19 · පි. 381

فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ مَكْرِهِمْ أَنَّا دَمَّرْنَاهُمْ وَقَوْمَهُمْ أَجْمَعِينَ51

ඔවුන්ගේ කුමන්ත්‍රණයේ අවසානය කෙසේ වී දැයි ඔබ මැනවින් බලනු. නියත වශයෙන්ම අපි ඔවුන් හා ඔවුන්ගේ ජනයා සියලු දෙනා විනාශ කර දැමුවෙමු.
27:52ජුස් 19 · පි. 381

فَتِلْكَ بُيُوتُهُمْ خَاوِيَةً بِمَا ظَلَمُوا ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِقَوْمٍ يَعْلَمُونَ52

ඔවුන් කළ අපරාධකම් හේතුවෙන් ගරා වැටුණු ඔවුන්ගේ නිවෙස් මේවා ය. නියත වශයෙන්ම මෙහි දැනමුතුකම් ලබන ජනයාට සාධකයක් ඇත.
27:53ජුස් 19 · පි. 381

وَأَنْجَيْنَا الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ53

තවද විශ්වාස කර බිය බැතිමත් වී සිටියවුන් අපි මුදවා ගත්තෙමු.
27:54ජුස් 19 · පි. 381

وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ أَتَأْتُونَ الْفَاحِشَةَ وَأَنْتُمْ تُبْصِرُونَ54

තවද ලූත් ද (අපි එව්වෙමු.) ඔහු තම ජනයා වෙත නුඹලා දැක දැකම දුරාචාරය (සමලිංගිකත්වය) වෙත පැමිණෙන්නෙහු දැ?යි විමසූ අවස්ථාව සිහියට නගනු.
27:55ජුස් 19 · පි. 381

أَئِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ شَهْوَةً مِنْ دُونِ النِّسَاءِ ۚ بَلْ أَنْتُمْ قَوْمٌ تَجْهَلُونَ55

කාන්තාවන් හැර දමා, කාමාශාවෙන් යුතු ව පිරිමින් වෙත නුඹලා පැමිණෙන්නෙහු ද? නුඹලා අඥාන පිරිසකි.
27:56ජුස් 20 · පි. 382

۞ فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا أَخْرِجُوا آلَ لُوطٍ مِنْ قَرْيَتِكُمْ ۖ إِنَّهُمْ أُنَاسٌ يَتَطَهَّرُونَ56

නුඹලා ලූත්ගේ පරපුර නුඹලාගේ දේශයෙන් පිටුවහල් කරනු. නියත වශයෙන්ම ඔවුන් පිවිතුරුකම පතන ජන පිරිසකි, යැයි පැවසීම මිස ඔහුගේ ජනයාගේ පිළිතුර වෙනෙකක් නොවීය.
27:57ජුස් 20 · පි. 382

فَأَنْجَيْنَاهُ وَأَهْلَهُ إِلَّا امْرَأَتَهُ قَدَّرْنَاهَا مِنَ الْغَابِرِينَ57

එවිට අපි ඔහු හා ඔහුගේ පවුලේ අය මුදවා ගත්තෙමු. ඔහුගේ බිරිය හැර. ඇය රැඳී සිටින්නන් අතරට පත් කළෙමු.
27:58ජුස් 20 · පි. 382

وَأَمْطَرْنَا عَلَيْهِمْ مَطَرًا ۖ فَسَاءَ مَطَرُ الْمُنْذَرِينَ58

තවද අපි ඔවුන් වෙත වර්ෂාවක් පතිත කළෙමු. අවවාද කරනු ලැබූවන්ගේ වර්ෂාව නපුරු විය.
27:59ජුස් 20 · පි. 382

قُلِ الْحَمْدُ لِلَّهِ وَسَلَامٌ عَلَىٰ عِبَادِهِ الَّذِينَ اصْطَفَىٰ ۗ آللَّهُ خَيْرٌ أَمَّا يُشْرِكُونَ59

පවසනු. සියලු ප්‍රශංසා අල්ලාහ්ටය. තවද ඔහු තෝරා ගත් ඔහුගේ ගැත්තන් කෙරෙහි ශාන්තිය අත් වේවා. ශ්‍රේෂ්ඨ වනුයේ අල්ලාහ් ද එසේ නැතහොත් ඔවුන් අදේශ කරන දෑ ද?
27:60ජුස් 20 · පි. 382

أَمَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَأَنْزَلَ لَكُمْ مِنَ السَّمَاءِ مَاءً فَأَنْبَتْنَا بِهِ حَدَائِقَ ذَاتَ بَهْجَةٍ مَا كَانَ لَكُمْ أَنْ تُنْبِتُوا شَجَرَهَا ۗ أَإِلَٰهٌ مَعَ اللَّهِ ۚ بَلْ هُمْ قَوْمٌ يَعْدِلُونَ60

(උතුම් වනුයේ ඔවුන් ආදේශ තබන දෑ ද) එසේ නැතහොත් අහස් හා මහපොළොව මවා අහසින් නුඹලාට ජලය පහළ කළ අය ද? එමගින් අපි සාරවත් බවින් යුක්ත වතුයායන් හට ගැන්වූයෙමු. එහි ගස් හට ගැන්වීමට නුඹලාට (බලය) නොමැත. අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නමුත් ඔවුන් (අල්ලාහ්ට) සමාන කරන පිරිසකි.
27:61ජුස් 20 · පි. 382

أَمَّنْ جَعَلَ الْأَرْضَ قَرَارًا وَجَعَلَ خِلَالَهَا أَنْهَارًا وَجَعَلَ لَهَا رَوَاسِيَ وَجَعَلَ بَيْنَ الْبَحْرَيْنِ حَاجِزًا ۗ أَإِلَٰهٌ مَعَ اللَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ61

එසේ නැතහොත් මහපොළොව වාසස්ථානයක් බවට පත් කොට ඒ අතර ගංගාවන් ඇති කොට එහි කඳු ඇති කොට මුහුදු දෙක අතර බාධකයක් ඇති කළ අය ද? අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති.
27:62 · Who answers the distressedජුස් 20 · පි. 382

أَمَّنْ يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفَاءَ الْأَرْضِ ۗ أَإِلَٰهٌ مَعَ اللَّهِ ۚ قَلِيلًا مَا تَذَكَّرُونَ62

එසේ නැතහොත් කරදරයක පැටලුණු අය ඔහුගෙන් ප්‍රාර්ථනා කළ විට ඔහුට පිළිතුරු දී එම නපුර ඉවත් කරන්නා ද? තවද, ඔහු නුඹලා මහපොළොවේ නියෝජිතයින් බවට පත් කරයි. අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නුඹලා මෙනෙහි කරනුයේ ස්වල්පයකි.
27:63ජුස් 20 · පි. 382

أَمَّنْ يَهْدِيكُمْ فِي ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ وَمَنْ يُرْسِلُ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ ۗ أَإِلَٰهٌ مَعَ اللَّهِ ۚ تَعَالَى اللَّهُ عَمَّا يُشْرِكُونَ63

එසේ නැතහොත් පොළොවේ හා මුහුදේ අන්ධකාරයන්හි නුඹලාට මග පෙන්වන්නා ද? තවද තම කරුණාව අතරින් සුළඟ සුබාශිංසනයක් වශයෙන් එවනුයේ කවරෙක් ද? අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? ඔවුන් ආදේශ කරන දැයින් අල්ලාහ් උත්තරීතරය.
27:64ජුස් 20 · පි. 383

أَمَّنْ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَمَنْ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ ۗ أَإِلَٰهٌ مَعَ اللَّهِ ۚ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ64

එසේ නැතහොත්, පූර්වාදර්ශයකින් තොර ව මැවීම් බිහි කොට (එය විනාශ වූ) පසු ව යළි ගෙන එන්නා ද? අහස්හි හා මහපොළොවේ නුඹලාට පෝෂණය ලබා දෙනුයේ කවරෙක් ද? අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නුඹලා සත්‍යවාදීහු නම් නුඹලාගේ සාධක ගෙන එනු.
27:65ජුස් 20 · පි. 383

قُلْ لَا يَعْلَمُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ الْغَيْبَ إِلَّا اللَّهُ ۚ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ65

(නබිවරය) අල්ලාහ් හැර අහස්හි හා මහපොළොවේ සිටින්නන් ගුප්ත දෑ නොදනී යැයි ඔබ පවසනු. තවද ඔවුන් යළි නැගිටුවනු ලබන්නේ කවදාදැයි ද ඔවුහු නොදනිති.
27:66ජුස් 20 · පි. 383

بَلِ ادَّارَكَ عِلْمُهُمْ فِي الْآخِرَةِ ۚ بَلْ هُمْ فِي شَكٍّ مِنْهَا ۖ بَلْ هُمْ مِنْهَا عَمُونَ66

එසේ නොව ඔවුන්ගේ දැනුම මතු ලොව වෙතට ළඟා වෙයි. නමුත් ඔවුන් ඒ ගැන සැකයෙහිය. නමුත් ඔවුන් ඒ ගැන අන්ධභාවයෙන් පෙළෙති.
27:67ජුස් 20 · පි. 383

وَقَالَ الَّذِينَ كَفَرُوا أَإِذَا كُنَّا تُرَابًا وَآبَاؤُنَا أَئِنَّا لَمُخْرَجُونَ67

අප හා අපගේ මුතුන් මිත්තන් පස් බවට පත් ව සිටියදී නියත වශයෙන්ම අපි බැහැර කරනු ලබන්නන් වන්නෙමු දැයි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් පවසා සිටියේය.
27:68ජුස් 20 · පි. 383

لَقَدْ وُعِدْنَا هَٰذَا نَحْنُ وَآبَاؤُنَا مِنْ قَبْلُ إِنْ هَٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ68

මීට පෙරද අප හා අපගේ මුතුන් මිත්තන් මේ ගැන ප්‍රතිඥා දෙනු ලැබුවෙමු. මෙය පැරැණ්නන්ගේ ප්‍රබන්ධයන් මිස නැත.
27:69ජුස් 20 · පි. 383

قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُجْرِمِينَ69

මහපොළොවේ නුඹලා ගමන් කර වැරදිකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු යැයි ඔබ පවසනු.
27:70ජුස් 20 · පි. 383

وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُنْ فِي ضَيْقٍ مِمَّا يَمْكُرُونَ70

ඔවුන් කෙරෙහි ඔබ දුක් නොවනු. තවද ඔවුන් කරන කුමන්ත්‍රණ හේතුවෙන් ඔබ අසහනකාරී තත්ත්වයට පත් නොවනු.
27:71ජුස් 20 · පි. 383

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ71

නුඹලා සත්‍යවාදීහු නම් මෙම ප්‍රතිඥාව කවදාදැ?යි ඔවුහු විමසති.
27:72ජුස් 20 · පි. 383

قُلْ عَسَىٰ أَنْ يَكُونَ رَدِفَ لَكُمْ بَعْضُ الَّذِي تَسْتَعْجِلُونَ72

(නබිවරය) නුඹලා ඉක්මනින් පතන දැයින් සමහරක් නුඹලාට සමීප වන්නට පුළුවන් යැයි ඔබ පවසනු.
27:73ජුස් 20 · පි. 383

وَإِنَّ رَبَّكَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ73

තවද නියත වශයෙන්ම ඔබගේ පරමාධිපති ජනයා වෙත අනුග්‍රහශීලීය. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නොවෙති.
27:74ජුස් 20 · පි. 383

وَإِنَّ رَبَّكَ لَيَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ74

තවද ඔවුන්ගේ හදවත් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද නියත වශයෙන්ම ඔබේ පරමාධිපති දන්නේය.
27:75ජුස් 20 · පි. 383

وَمَا مِنْ غَائِبَةٍ فِي السَّمَاءِ وَالْأَرْضِ إِلَّا فِي كِتَابٍ مُبِينٍ75

තවද අහස්හි හා මහපොළොවේ සැඟ වී පවතින කිසිවක් හෝ පැහැදිලි ලේඛනයේ සඳහන් ව මිස නැත.
27:76ජුස් 20 · පි. 383

إِنَّ هَٰذَا الْقُرْآنَ يَقُصُّ عَلَىٰ بَنِي إِسْرَائِيلَ أَكْثَرَ الَّذِي هُمْ فِيهِ يَخْتَلِفُونَ76

කවර විෂයක් ගැන ඔවුහු මතභේද ඇති කර ගත්තෝ ද ඒවායින් බොහෝමයක් ගැන නියත වශයෙන්ම ඉස්රාඊල් දරුවන්ට මෙම අල් කුර්ආනය විස්තර කරයි.
27:77ජුස් 20 · පි. 384

وَإِنَّهُ لَهُدًى وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ77

තවද නියත වශයෙන්ම (අල් කුර්ආනය වන) මෙය මග පෙන්වීමකි. දෙවියන් විශ්වාස කරන්නන් හට දයාවකි.
27:78ජුස් 20 · පි. 384

إِنَّ رَبَّكَ يَقْضِي بَيْنَهُمْ بِحُكْمِهِ ۚ وَهُوَ الْعَزِيزُ الْعَلِيمُ78

නියත වශයෙන්ම ඔබේ පරමාධිපති තම නීතිය අනුව ඔවුන් අතර තීන්දු දෙනු ඇත. තවද ඔහුමය සර්ව ඥානී සර්ව බලධාරී.
27:79ජුස් 20 · පි. 384

فَتَوَكَّلْ عَلَى اللَّهِ ۖ إِنَّكَ عَلَى الْحَقِّ الْمُبِينِ79

එහෙයින් ඔබ අල්ලාහ් වෙත සියල්ල භාර කරනු. නියත වශයෙන්ම ඔබ පැහැදිලි සත්‍ය මත සිටින්නෙහිය.
27:80ජුස් 20 · පි. 384

إِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَىٰ وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَاءَ إِذَا وَلَّوْا مُدْبِرِينَ80

නියත වශයෙන්ම නුඹට (සත්‍ය ප්‍රතික්ෂේප කරන) මළවුනට සවන් වැකෙන්නට සැලැස්විය නොහැක. තවද (සත්‍යට කන් නොදෙන) බිහිරන් ඔවුන් පසුපසලා හැරී යන විට එම ඇරයුමට සවන් වැකෙන්නට සැලැස්විය නොහැක.
27:81ජුස් 20 · පි. 384

وَمَا أَنْتَ بِهَادِي الْعُمْيِ عَنْ ضَلَالَتِهِمْ ۖ إِنْ تُسْمِعُ إِلَّا مَنْ يُؤْمِنُ بِآيَاتِنَا فَهُمْ مُسْلِمُونَ81

අන්ධයින් නොමග යෑමෙන් ඔවුන්ට මග පෙන්වන්නකු ලෙස ඔබ නැත. අපගේ වදන් විශ්වාස කර, අවනත වන මුස්ලිම්වරුන් බවට පත්වූවන්ට හැර අන් අයට නුඹට සවන් වැකෙන්නට සැළැස්විය නොහැක.
27:82ජුස් 20 · පි. 384

۞ وَإِذَا وَقَعَ الْقَوْلُ عَلَيْهِمْ أَخْرَجْنَا لَهُمْ دَابَّةً مِنَ الْأَرْضِ تُكَلِّمُهُمْ أَنَّ النَّاسَ كَانُوا بِآيَاتِنَا لَا يُوقِنُونَ82

ඔවුන් වෙත (දඬුවමේ) ප්‍රකාශය පතිත වූ විට ‘නියත වශයෙන්ම මිනිසුන් අපගේ වදන් තරයේ විශ්වාස නොකරමින් සිටියහ’ යැයි ඔවුන් සමග කතා කරන සත්ත්වයෙකු ඔවුන් වෙනුවෙන් මහපොළොවෙන් අපි බැහැර කරන්නෙමු.
27:83ජුස් 20 · පි. 384

وَيَوْمَ نَحْشُرُ مِنْ كُلِّ أُمَّةٍ فَوْجًا مِمَّنْ يُكَذِّبُ بِآيَاتِنَا فَهُمْ يُوزَعُونَ83

සෑම සමූහයකින්ම අපගේ වදන් බොරු කරමින් සිටි අයගෙන් පිරිසක් අපි එක්රැස් කරන දිනය ගැන මෙනෙහි කරනු. එවිට ඔවුහු පෙළ ගස්වා තබනු ලබති.
27:84ජුස් 20 · පි. 384

حَتَّىٰ إِذَا جَاءُوا قَالَ أَكَذَّبْتُمْ بِآيَاتِي وَلَمْ تُحِيطُوا بِهَا عِلْمًا أَمَّاذَا كُنْتُمْ تَعْمَلُونَ84

ඔවුහු පැමිණි විට, මාගේ වදන් පිළිබඳ දැනුමක් නුඹලාට නොතිබිය දී නුඹලා එය බොරු කළෙහු ද, එසේ නැතහොත් නුඹලා සිදු කරමින් සිටියේ කුමක්දැ?යි ඔහු විමසයි.
27:85ජුස් 20 · පි. 384

وَوَقَعَ الْقَوْلُ عَلَيْهِمْ بِمَا ظَلَمُوا فَهُمْ لَا يَنْطِقُونَ85

ඔවුන් අපරාධ කළ බැවින් ඔවුන් කෙරෙහි (දඬුවමේ) ප්‍රකාශය පතිත විය. එහෙයින් ඔවුහු කතා නොකරති.
27:86ජුස් 20 · පි. 384

أَلَمْ يَرَوْا أَنَّا جَعَلْنَا اللَّيْلَ لِيَسْكُنُوا فِيهِ وَالنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ86

ඔවුන් එහි වාසය කරනු පිණිස රාත්‍රියත් දහවල පෙනෙන්නක් බවටත් නියත වශයෙන්ම අපි ඇති කළ බව ඔවුහු නොදුටුවෙහු ද? නියත වශයෙන්ම එහි විශ්වාස කරන ජනයාට සංඥා ඇත.
27:87ජුස් 20 · පි. 384

وَيَوْمَ يُنْفَخُ فِي الصُّورِ فَفَزِعَ مَنْ فِي السَّمَاوَاتِ وَمَنْ فِي الْأَرْضِ إِلَّا مَنْ شَاءَ اللَّهُ ۚ وَكُلٌّ أَتَوْهُ دَاخِرِينَ87

හොරණෑවෙහි පිඹිනු ලබන දින අල්ලාහ් අභිමත කළ අය හැර අහස්හි සිටින අය හා මහොපොළොවේ සිටින අය තැති ගනිති. තවද සියලු දෙනා ඔහු වෙත පහත් වූවන් ලෙසින් පැමිණෙනු ඇත.
27:88ජුස් 20 · පි. 384

وَتَرَى الْجِبَالَ تَحْسَبُهَا جَامِدَةً وَهِيَ تَمُرُّ مَرَّ السَّحَابِ ۚ صُنْعَ اللَّهِ الَّذِي أَتْقَنَ كُلَّ شَيْءٍ ۚ إِنَّهُ خَبِيرٌ بِمَا تَفْعَلُونَ88

ඔබ එය ඝනව පිහිටා ඇතැයි සිතන කඳු දකින්නෙහිය. (එදින) ඒවා වලාකුළු ගමන් ගන්නාක් මෙන් ගමන් කරනු ඇත. එය සෑම දෙයකටම ස්ථාවරත්වයක් ඇති කළ අල්ලාහ්ගේ නිමැයුමකි. නියත වශයෙන්ම ඔහු නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
27:89ජුස් 20 · පි. 385

مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ خَيْرٌ مِنْهَا وَهُمْ مِنْ فَزَعٍ يَوْمَئِذٍ آمِنُونَ89

කවරෙකු යහපත රැගෙන එන්නේ ද එවිට ඊට වඩා ශ්‍රේෂ්ඨත්වයක් ඔහු සතු වනු ඇත. තවද ඔවුහු එදින තැතිගැනීමෙන් සුරක්ෂිතයෝය.
27:90ජුස් 20 · පි. 385

وَمَنْ جَاءَ بِالسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِي النَّارِ هَلْ تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ90

තවද කවරෙකු නපුර රැගෙන එන්නේ ද ඔවුන්ගේ මුහුණු නිරා ගින්නෙහි මුණිනතට හෙළනු ලැබේ. නුඹලා සිදු කරමින් සිටි දෑ හැර වෙනෙකක් නුඹලාට පිරිනමනු ලබන්නෙහු ද?
27:91ජුස් 20 · පි. 385

إِنَّمَا أُمِرْتُ أَنْ أَعْبُدَ رَبَّ هَٰذِهِ الْبَلْدَةِ الَّذِي حَرَّمَهَا وَلَهُ كُلُّ شَيْءٍ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُسْلِمِينَ91

නියත වශයෙන්ම මම අණ කරනු ලැබුවේ මෙම නගරය පාරිශුද්ධ කළ එහි පරමාධිපතිට ගැතිකම් කිරීමටය. තවද සියලු දෑ ඔහු සතුය. තවද මම (අල්ලාහ්ට අවනත වන) මුස්ලිම්වරුන් ගෙන් කෙනෙකු වීමට ද අණ කරනු ලැබුවෙමි.
27:92ජුස් 20 · පි. 385

وَأَنْ أَتْلُوَ الْقُرْآنَ ۖ فَمَنِ اهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ ۖ وَمَنْ ضَلَّ فَقُلْ إِنَّمَا أَنَا مِنَ الْمُنْذِرِينَ92

තවද මා අල් කුර්ආනය පාරායනය කිරීමට ද (අණ කරනු ලැබුවෙමි.) එහෙයින් කවරෙකු යහ මග ලබන්නේ ද එසේ ඔහු යහ මග ලබනුයේ ඔහු වෙනුවෙනි. තවද කවරෙකු නොමග ගියේ ද එවිට නියත වශයෙන්ම මම අවවාද කරන්නන් අතුරින් කෙනෙකු වෙමි යැයි නුඹ (ඔහුට) පවසනු.
27:93ජුස් 20 · පි. 385

وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ93

සියලු ප්‍රශංසා අල්ලාහ්ටය. ඔහුගේ සංඥා ඔහු නුඹලාට මතු පෙන්වනු ඇත. එවිට නුඹලා එය දැන ගන්නෙහුය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ නුඹගේ පරමාධිපති අනවධානියකු නොවේ යැයි ඔබ පවසනු.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න