Al-Ahqaf

سورة الأحقاف

සූරා 46 · මක්කා · 35 පද

46:1ජුස් 26 · පි. 502

حم1

හා මීම්
46:2ජුස් 26 · පි. 502

تَنْزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ2

මෙම දේව ග්‍රන්ථයේ පහළ කිරීම මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ්ගෙන් වූවකි.
46:3ජුස් 26 · පි. 502

مَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا إِلَّا بِالْحَقِّ وَأَجَلٍ مُسَمًّى ۚ وَالَّذِينَ كَفَرُوا عَمَّا أُنْذِرُوا مُعْرِضُونَ3

සත්‍යයෙන් යුතුව හා නියමිත කාලයක් සඳහා මිස අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද අපි නොමැව්වෙමු. තවද ප්‍රතික්ෂේප කළවුන් ඔවුනට අවවාද කරනු ලැබූ දෑ පිටුපාන්නන්ය.
46:4ජුස් 26 · පි. 502

قُلْ أَرَأَيْتُمْ مَا تَدْعُونَ مِنْ دُونِ اللَّهِ أَرُونِي مَاذَا خَلَقُوا مِنَ الْأَرْضِ أَمْ لَهُمْ شِرْكٌ فِي السَّمَاوَاتِ ۖ ائْتُونِي بِكِتَابٍ مِنْ قَبْلِ هَٰذَا أَوْ أَثَارَةٍ مِنْ عِلْمٍ إِنْ كُنْتُمْ صَادِقِينَ4

අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ඇරයුම් කරන දෑ දෙස නුඹලා බැලුවෙහු ද? ඔවුන් මහපොළොවෙන් මවා ඇත්තේ කුමක් දැයි මට නුඹලා පෙන්වනු. එසේ නැතහොත් අහස්(මැවීමෙ)හි යම් හවුලක් ඔවුනට තිබේ ද? නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මීට පෙර වූ ග්‍රන්ථයක් හෝ ඥානාන්විත සලකුණක් හෝ මා වෙත ගෙන එනු.” යැයි නුඹ පවසනු.
46:5ජුස් 26 · පි. 502

وَمَنْ أَضَلُّ مِمَّنْ يَدْعُو مِنْ دُونِ اللَّهِ مَنْ لَا يَسْتَجِيبُ لَهُ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ وَهُمْ عَنْ دُعَائِهِمْ غَافِلُونَ5

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් අල්ලාහ් හැර තමන්ට පිළිතුරු නොසපයන අයට ඇරයුම් කරන්නාට වඩා නොමග ගිය අය කවුද? තවද මොවුන්ගේ ඇරයුම ගැන ඔවුහු වැටහීමක් නැත්තෝය.
46:6ජුස් 26 · පි. 503

وَإِذَا حُشِرَ النَّاسُ كَانُوا لَهُمْ أَعْدَاءً وَكَانُوا بِعِبَادَتِهِمْ كَافِرِينَ6

තවද ජනයා එක්රැස් කරනු ලැබූ විට ඔවුහු මොවුනට සතුරු වනු ඇත. මොවුන්ගේ ඇදහීම පිළිබඳ ව ඔවුහු ප්‍රතික්ෂේප කරන්නන් වනු ඇත.
46:7ජුස් 26 · පි. 503

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ كَفَرُوا لِلْحَقِّ لَمَّا جَاءَهُمْ هَٰذَا سِحْرٌ مُبِينٌ7

ඔවුන් වෙත අපගේ පැහැදිලි වදන් පාරායනය කරනු ලබන විට ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි “මෙය පැහැදිලි හූනියමක්” යැයි ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ.
46:8ජුස් 26 · පි. 503

أَمْ يَقُولُونَ افْتَرَاهُ ۖ قُلْ إِنِ افْتَرَيْتُهُ فَلَا تَمْلِكُونَ لِي مِنَ اللَّهِ شَيْئًا ۖ هُوَ أَعْلَمُ بِمَا تُفِيضُونَ فِيهِ ۖ كَفَىٰ بِهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ ۖ وَهُوَ الْغَفُورُ الرَّحِيمُ8

එසේ නැතහොත් “ඔහු එය ගෙතුවේ යැයි පවසන්නෝ ද? මම එය ගෙතුවේ නම් අල්ලාහ්ගෙන් (වූ දඬුවමින්) මා වැළැක්වීමට නුඹලා ශක්තිය නොදරනු ඇත. නුඹලා කවර කරුණක ගිලී සිටින්නෙහු ද ඒ පිළිබඳ ව ඔහු මැනවින් දන්නාය. මා අතර හා නුඹ අතර සාක්ෂිකරුවෙකු වශයෙන් ඔහු ප්‍රමාණවත්ය. තවද ඔහු අතික්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය” යැයි නුඹ පවසනු.
46:9ජුස් 26 · පි. 503

قُلْ مَا كُنْتُ بِدْعًا مِنَ الرُّسُلِ وَمَا أَدْرِي مَا يُفْعَلُ بِي وَلَا بِكُمْ ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰ إِلَيَّ وَمَا أَنَا إِلَّا نَذِيرٌ مُبِينٌ9

“දහම් දූතවරුන් අතුරින් මා නවකයෙකු නොවූයෙමි. තවද මට හෝ නුඹලාට කුමක් සිදු කරනු ලබන්නේ දැයි මම නොදනිමි. මා වෙත හෙළිදරව් කරනු ලබන දෑ හැර මම නොපිළිපදිමි. තවද මම පැහැදිලි අවවාද කරන්නෙකු මිස නැතැ”යි (නබිවරය) නුඹ පවසනු.
46:10ජුස් 26 · පි. 503

قُلْ أَرَأَيْتُمْ إِنْ كَانَ مِنْ عِنْدِ اللَّهِ وَكَفَرْتُمْ بِهِ وَشَهِدَ شَاهِدٌ مِنْ بَنِي إِسْرَائِيلَ عَلَىٰ مِثْلِهِ فَآمَنَ وَاسْتَكْبَرْتُمْ ۖ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ10

“එය අල්ලාහ් වෙතින් වී ඉස්රාඊල් දරුවන් අතුරින් සාක්ෂිකරුවකු එයට සමාන දෙයක් මත සාක්ෂි දරා පසු ව ඔහු විශ්වාස කර සිටිය දී නුඹලා එය ප්‍රතික්ෂේප කොට උඩගු වූයේ නම් (ඒ ගැන) නුඹලා කුමක් සිතන්නෙහුද? නියත වශයෙන්ම අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත.” යැයි (නබිවරය) නුඹ පවසනු.
46:11ජුස් 26 · පි. 503

وَقَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا لَوْ كَانَ خَيْرًا مَا سَبَقُونَا إِلَيْهِ ۚ وَإِذْ لَمْ يَهْتَدُوا بِهِ فَسَيَقُولُونَ هَٰذَا إِفْكٌ قَدِيمٌ11

“එය යහපතක් වී නම් ඔවුහු ඒ කෙරෙහි අපට ඉදිරියෙන් ගොස් නැතැයි ප්‍රතික්ෂේප කළවුන් විශ්වාස කළවුන් හමුවේ පැවසූහ. තවද එමගින් ඔවුහු යහමග නොලැබූ විට ‘මෙය පුරාණ ප්‍රබන්ධයක්’ යැයි ඔවුහු පවසනු ඇත.
46:12ජුස් 26 · පි. 503

وَمِنْ قَبْلِهِ كِتَابُ مُوسَىٰ إِمَامًا وَرَحْمَةً ۚ وَهَٰذَا كِتَابٌ مُصَدِّقٌ لِسَانًا عَرَبِيًّا لِيُنْذِرَ الَّذِينَ ظَلَمُوا وَبُشْرَىٰ لِلْمُحْسِنِينَ12

තවද එයට පෙර මග පෙන්වන්නක් වශයෙන් හා ආශිර්වාදයක් වශයෙන් මූසාගේ ග්‍රන්ථය විය. මෙය අරාබි බසින් වූ (එය) තහවුරු කරන ග්‍රන්ථයයි. මෙය අපරාධ කරන්නන්හට අවවාද කරනු පිණිස ද දැහැමියන්ට ශුභාරංචි දන්වන්නක් පිණිස ද වේ.
46:13ජුස් 26 · පි. 503

إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ13

‘අපගේ පරමාධිපති අල්ලාහ්’ යැයි ප්‍රකාශ කොට පසුව (එහි) ස්ථාවර ව සිටියවුන් වන ඔවුනට කිසිදු බියක් නැත. එමෙන්ම ඔවුහු දුකට පත්වන්නෝ ද නොවෙති.
46:14ජුස් 26 · පි. 503

أُولَٰئِكَ أَصْحَابُ الْجَنَّةِ خَالِدِينَ فِيهَا جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ14

ඔවුහු ස්වර්ග වැසියෝය. එහි සදාතනිකයින්ය. (එය) ඔවුන් සිදු කරමින් සිටි දෑට ප්‍රතිඵලයක් වශයෙනි.
46:15ජුස් 26 · පි. 504

وَوَصَّيْنَا الْإِنْسَانَ بِوَالِدَيْهِ إِحْسَانًا ۖ حَمَلَتْهُ أُمُّهُ كُرْهًا وَوَضَعَتْهُ كُرْهًا ۖ وَحَمْلُهُ وَفِصَالُهُ ثَلَاثُونَ شَهْرًا ۚ حَتَّىٰ إِذَا بَلَغَ أَشُدَّهُ وَبَلَغَ أَرْبَعِينَ سَنَةً قَالَ رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَىٰ وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَصْلِحْ لِي فِي ذُرِّيَّتِي ۖ إِنِّي تُبْتُ إِلَيْكَ وَإِنِّي مِنَ الْمُسْلِمِينَ15

තවද මිනිසාට තම දෙමාපියන්හට ඇප උපස්ථාන කරන මෙන් අපි උපදෙස් දුනිමු. ඔහුගේ මව ඔහු දුෂ්කරත්වයෙන් යුතු ව ඉසිලුවාය. තවද දුෂ්කරත්වයෙන් යුතු ව ඇය ඔහු ප්‍රසූත කළාය. ඔහු ව (මව් කුස තුළ) ඉසිලීම හා ඔහුට කිරි වැරීම මාස තිහකි. ඔහු වැඩි වියට පත් ව අවුරුදු හතළිහට ළඟා වූ විට “මාගේ පරමාධිපත්යාණනි! නුඹ මා වෙත හා මාගේ දෙමව්පියන් වෙත දායාද කළ නුඹගේ ආශිර්වාදය සඳහා කෘතවේදී වීමටත් නුඹ තෘප්තියට පත් වන අයුරින් දැහැමි දෑ සිදු කිරීමටත් මට භාග්‍යය ලබා දෙනු මැනව! තවද මාගේ පරපුර තුළ ද මාහට දැහැමි බව ඇති කරනු මැනව! නියත වශයෙන්ම මම පාප සමාව ඇයැද නුඹ වෙත නැඹුරු වෙමි. තවද නියත වශයෙන්ම මම මුස්ලිම්වරුන් (අල්ලාහ්ට අවනත වන්නන්) අතුරිනි යැයි ඔහු පැවසුවේය.
46:16ජුස් 26 · පි. 504

أُولَٰئِكَ الَّذِينَ نَتَقَبَّلُ عَنْهُمْ أَحْسَنَ مَا عَمِلُوا وَنَتَجَاوَزُ عَنْ سَيِّئَاتِهِمْ فِي أَصْحَابِ الْجَنَّةِ ۖ وَعْدَ الصِّدْقِ الَّذِي كَانُوا يُوعَدُونَ16

ඔවුන් සිදු කළ අලංකාර දෑ ඔවුන්ගෙන් අප පිළිගත් අය ඔවුහුමය. තවද අපි ඔවුන්ගේ පාපකම් නොසළකා හරිමු. (ඔවුහු) ස්වර්ගවාසීහු අතරය. (එය) ඔවුනට ප්‍රතිඥා දෙනු ලබමින් සිටි සත්‍යයේ ප්‍රතිඥාවක් වශයෙනි.
46:17ජුස් 26 · පි. 504

وَالَّذِي قَالَ لِوَالِدَيْهِ أُفٍّ لَكُمَا أَتَعِدَانِنِي أَنْ أُخْرَجَ وَقَدْ خَلَتِ الْقُرُونُ مِنْ قَبْلِي وَهُمَا يَسْتَغِيثَانِ اللَّهَ وَيْلَكَ آمِنْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ فَيَقُولُ مَا هَٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ17

තම දෙමාපියන්ට (අකීකරු වචනයෙන්) ‘චී’ යැයි පැවසූ අය “නුඹ දෙදෙනා මා (මිනි වළෙන්) ගොඩ ගනු ලබනු ඇතැයි පවසා මා බිය වද්දන්නෙහු ද? මට පෙර ද පරම්පරාවන් ඉකුත් ව ගොස් ඇතැ”යි පැවසීය. තවද ඔවුන් දෙදෙනා අල්ලාහ්ගෙන් උදව් පතමින් “නුඹට විනාශයයි. නුඹ විශ්වාස කරනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සත්‍යයකි.” එවිට ඔහු “මෙය මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයන් මිස නැතැ”යි පවසයි.
46:18ජුස් 26 · පි. 504

أُولَٰئِكَ الَّذِينَ حَقَّ عَلَيْهِمُ الْقَوْلُ فِي أُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهِمْ مِنَ الْجِنِّ وَالْإِنْسِ ۖ إِنَّهُمْ كَانُوا خَاسِرِينَ18

තමන් වෙත (දඬුවමේ ප්‍රකාශය) නියම වූ ඔවුහු ඔවුනට පෙර ඉකුත් ව ගිය ජින්නුන් හා මිනිසුන් අතුරින් වූ සමූහයන් අතරය. නියත වශයෙන්ම ඔවුහු පරාජිතයින් වූහ.
46:19ජුස් 26 · පි. 504

وَلِكُلٍّ دَرَجَاتٌ مِمَّا عَمِلُوا ۖ وَلِيُوَفِّيَهُمْ أَعْمَالَهُمْ وَهُمْ لَا يُظْلَمُونَ19

සෑම කෙනෙකුටම ඔවුන් සිදු කළ දැයින් තරාතිරම් ඇත. තවද ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව ඔවුනට පූර්ණ ව ප්‍රතිඵල දෙනු ඇත. තවද ඔවුහු අපරාධ සිදු කරනු නොලබති.
46:20ජුස් 26 · පි. 504

وَيَوْمَ يُعْرَضُ الَّذِينَ كَفَرُوا عَلَى النَّارِ أَذْهَبْتُمْ طَيِّبَاتِكُمْ فِي حَيَاتِكُمُ الدُّنْيَا وَاسْتَمْتَعْتُمْ بِهَا فَالْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنْتُمْ تَسْتَكْبِرُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَبِمَا كُنْتُمْ تَفْسُقُونَ20

තවද ප්‍රතික්ෂේප කළවුන් (නිරා) ගින්නට ඉදිරිපත් කරනු ලබන දින, නුඹලාගේ මෙලොව ජීවිතයේ දී නුඹලාගේ යහපත් දෑ නුඹලා ඉවත් කර ගෙන ඇත. තවද නුඹලා ඒවා භුක්ති විඳ ඇත. එහෙයින් අද දින නුඹලා කිසිදු සාධාරණයකින් තොර ව උඩගුකම් පෑ හේතුවෙන් ද නුඹලා පාපකම් සිදුකරමින් සිටි හේතුවෙන් ද නින්දිත දඬුවම ප්‍රතිඵල වශයෙන් දෙනු ලබන්නෙහුය.
46:21ජුස් 26 · පි. 505

۞ وَاذْكُرْ أَخَا عَادٍ إِذْ أَنْذَرَ قَوْمَهُ بِالْأَحْقَافِ وَقَدْ خَلَتِ النُّذُرُ مِنْ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ21

තවද ආද්ගේ සහෝදරයා අහ්කාෆ්හි (වැලිකඳු මත) සිට තම ජනයාට අවවාද කළ අවස්ථාව නුඹ මෙනෙහි කරනු. ඔහුට පෙර ද ඔහුට පසු ද මෙවන් අවවාද කරන්නන් ඉකුත් ව ගොස් ඇත. “අල්ලාහ් හැර නුඹලා (වෙනත් කිසිවකුට) ගැතිකම් නොකරනු. නියත වශයෙන්ම මහත් වූ දිනයක දඬුවම නුඹලා වෙත පැමිණීම ගැන නියත වශයෙන්ම මම බිය වෙමි” (යැයි ඔහු පැවසීය).
46:22ජුස් 26 · පි. 505

قَالُوا أَجِئْتَنَا لِتَأْفِكَنَا عَنْ آلِهَتِنَا فَأْتِنَا بِمَا تَعِدُنَا إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ22

“අපගේ දෙවිවරුන්ගෙන් අප වෙනතකට යොමු කිරීම සඳහා නුඹ අප වෙත පැමිණියෙහි ද? එසේ නම්, නුඹ සත්‍යවාදීන් අතුරින් කෙනෙකු වී නම් නුඹ අපට ප්‍රතිඥා දෙන දෑ අප වෙත ගෙන එනු” යැයි ඔවුහු පැවසූහ.
46:23ජුස් 26 · පි. 505

قَالَ إِنَّمَا الْعِلْمُ عِنْدَ اللَّهِ وَأُبَلِّغُكُمْ مَا أُرْسِلْتُ بِهِ وَلَٰكِنِّي أَرَاكُمْ قَوْمًا تَجْهَلُونَ23

“නියත වශයෙන්ම එම දැනුම අල්ලාහ් අබියසය. තවද කවර දෙයක් සමග මා එවනු ලැබුවේ ද එය මා නුඹලාට දැනුම් දෙමි. නමුත් නුඹලා වටහා නොගන්නා පිරිසක් ලෙස මම නුඹලා දකිමි” යැයි ඔහු පැවසීය.
46:24ජුස් 26 · පි. 505

فَلَمَّا رَأَوْهُ عَارِضًا مُسْتَقْبِلَ أَوْدِيَتِهِمْ قَالُوا هَٰذَا عَارِضٌ مُمْطِرُنَا ۚ بَلْ هُوَ مَا اسْتَعْجَلْتُمْ بِهِ ۖ رِيحٌ فِيهَا عَذَابٌ أَلِيمٌ24

ඔවුන්ගේ මිටියාවත දෙසට එය වලාකුළක් සේ ළඟා වනු ඔවුහු දුටු කල්හි, “මෙය අපට වැසි ගෙන දෙන වලාකුළකි” යැයි ඔවුහු පැවසූහ. “එසේ නොව, එය නුඹලා කවර දෙයක් ඉක්මණින් පැතුවෙහු ද එයයි. දැඩි සුළගකි. එහි වේදනීය දඬුවමක් ඇත.”
46:25ජුස් 26 · පි. 505

تُدَمِّرُ كُلَّ شَيْءٍ بِأَمْرِ رَبِّهَا فَأَصْبَحُوا لَا يُرَىٰ إِلَّا مَسَاكِنُهُمْ ۚ كَذَٰلِكَ نَجْزِي الْقَوْمَ الْمُجْرِمِينَ25

“එය එහි පරමාධිපතිගේ නියෝගය අනුව සියලු දෑ සුනු විසුනු කරනු ඇත.” එවිට ඔවුන්ගේ වාසස්ථාන හැර (කිසිවෙකු) දකින්නට නොලබන තත්ත්වයට ඔවුහු පත් වූහ. අපරාධකාරී ජනයාට අපි ප්‍රතිවිපාක පිරිනමනුයේ එලෙසය.
46:26ජුස් 26 · පි. 505

وَلَقَدْ مَكَّنَّاهُمْ فِيمَا إِنْ مَكَّنَّاكُمْ فِيهِ وَجَعَلْنَا لَهُمْ سَمْعًا وَأَبْصَارًا وَأَفْئِدَةً فَمَا أَغْنَىٰ عَنْهُمْ سَمْعُهُمْ وَلَا أَبْصَارُهُمْ وَلَا أَفْئِدَتُهُمْ مِنْ شَيْءٍ إِذْ كَانُوا يَجْحَدُونَ بِآيَاتِ اللَّهِ وَحَاقَ بِهِمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ26

කවර විෂයක අපි නුඹලාට පහසුකම් ලබා නොදුන්නෙමු ද එවන් දෑහි සැබැවින්ම අපි ඔවුනට පහසුකම් ලබා දුනිමු. තවද අපි ඔවුනට සවන් බැල්ම හා හදවත් ද ඇති කළෙමු. නමුත් අල්ලාහ්ගේ වදන් ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් ඔවුන්ගේ සවන් හෝ ඔවුන්ගේ බැල්ම හෝ ඔවුන්ගේ හදවත් කිසිවකින් හෝ ඔවුනට ඵලක් නොවීය. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳ සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වට කළේය.
46:27ජුස් 26 · පි. 505

وَلَقَدْ أَهْلَكْنَا مَا حَوْلَكُمْ مِنَ الْقُرَىٰ وَصَرَّفْنَا الْآيَاتِ لَعَلَّهُمْ يَرْجِعُونَ27

තවද නුඹලා අවට පිහිටි ගම්මාන (රාශියක්) සැබැවින්ම අපි විනාශ කළෙමු. ඔවුන් නැවත යොමු විය හැකි වනු පිණිස එම සංඥා අපි විවිධාකාරයෙන් ගෙන හැර පෑවෙමු.
46:28ජුස් 26 · පි. 505

فَلَوْلَا نَصَرَهُمُ الَّذِينَ اتَّخَذُوا مِنْ دُونِ اللَّهِ قُرْبَانًا آلِهَةً ۖ بَلْ ضَلُّوا عَنْهُمْ ۚ وَذَٰلِكَ إِفْكُهُمْ وَمَا كَانُوا يَفْتَرُونَ28

අල්ලාහ්ට අමතර ව සමීපවීමේ මාර්ගයක් ලෙස ඔවුන් ගත් (වෙනත්) දෙවිවරුන් ඔවුනට උදව් කර තිබිය යුතු නොවේ ද? එසේ නොවේ. ඔවුහු ඔවුන්ගෙන් මුළා වී ඇත. තවද එය ඔවුන්ගේ බොරුවය. තවද ඔවුන් ගොතමින් සිටි දෑය.
46:29ජුස් 26 · පි. 506

وَإِذْ صَرَفْنَا إِلَيْكَ نَفَرًا مِنَ الْجِنِّ يَسْتَمِعُونَ الْقُرْآنَ فَلَمَّا حَضَرُوهُ قَالُوا أَنْصِتُوا ۖ فَلَمَّا قُضِيَ وَلَّوْا إِلَىٰ قَوْمِهِمْ مُنْذِرِينَ29

අප නුඹ වෙත අල් කුර්ආනය සවන් දෙන්නට ජින් වර්ගයාගෙන් පිරිසක් යොමු කළ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඔවුන් ඔහු වෙත පැමිණි කල්හි “නුඹලා නිහඬ ව සවන් දෙනු” යැයි ඔවුහු පැවසූහ. පසු ව (පාරායනය)අවසන් වූ කල්හි ඔවුහු තම සමූහයා වෙත අවවාද කරන්නන් ලෙස හැරී ගියහ.
46:30ජුස් 26 · පි. 506

قَالُوا يَا قَوْمَنَا إِنَّا سَمِعْنَا كِتَابًا أُنْزِلَ مِنْ بَعْدِ مُوسَىٰ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ يَهْدِي إِلَى الْحَقِّ وَإِلَىٰ طَرِيقٍ مُسْتَقِيمٍ30

අහෝ අපගේ ජනයිනි! මූසාගෙන් පසු ව, (එයට පෙර) තමන් අතර පැවති දෑ තහවුරු කරමින් පහළ කරන ලද දේව ග්‍රන්ථයකට නියත වශයෙන්ම අපි සවන් දුනිමු. එය සත්‍යය වෙත හා ඍජු මාර්ගය වෙත මග පෙන්වනු ඇත.
46:31ජුස් 26 · පි. 506

يَا قَوْمَنَا أَجِيبُوا دَاعِيَ اللَّهِ وَآمِنُوا بِهِ يَغْفِرْ لَكُمْ مِنْ ذُنُوبِكُمْ وَيُجِرْكُمْ مِنْ عَذَابٍ أَلِيمٍ31

“අහෝ අපගේ ජනයිනි! අල්ලාහ්ගේ කැඳවුම්කරුට නුඹලා ප්‍රතිචාර දක්වනු. තවද නුඹලා ඔහු විශ්වාස කරනු. නුඹලාගේ පාපයන්ට ඔහු නුඹලාට සමාව දෙන්නේය. තවද වේදනීය දඬුවමින් ඔහු නුඹලා මුදවා ගන්නේය.
46:32ජුස් 26 · පි. 506

وَمَنْ لَا يُجِبْ دَاعِيَ اللَّهِ فَلَيْسَ بِمُعْجِزٍ فِي الْأَرْضِ وَلَيْسَ لَهُ مِنْ دُونِهِ أَوْلِيَاءُ ۚ أُولَٰئِكَ فِي ضَلَالٍ مُبِينٍ32

“තවද, කවරෙකු අල්ලාහ්ගේ කැඳවුම්කරුට ප්‍රතිචාර නොදක්වන්නේ ද එවිට ඔහු මහපොළොවේ (අල්ලාහ්ව අබිබවා යන්නට) හැකියාව ඇත්තෙක් නොවේ. තවද ඔහුගෙන් තොර ව ඔහුට ආරක්ෂකයෙක් නොමැත. ඔවුහු පැහැදිලි මුළාවෙහිය.
46:33ජුස් 26 · පි. 506

أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَمْ يَعْيَ بِخَلْقِهِنَّ بِقَادِرٍ عَلَىٰ أَنْ يُحْيِيَ الْمَوْتَىٰ ۚ بَلَىٰ إِنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ33

නියත වශයෙන්ම අහස් හා මහපොළොව මවා, ඒවා මැවීමෙන් නිරායාසයට පත් නොවූ අල්ලාහ් මළවුනට යළි ජීවය දෙන්නට ශක්තිය ඇත්තා බව ඔවුහු නොදුටුවෝ ද? එසේය නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.
46:34ජුස් 26 · පි. 506

وَيَوْمَ يُعْرَضُ الَّذِينَ كَفَرُوا عَلَى النَّارِ أَلَيْسَ هَٰذَا بِالْحَقِّ ۖ قَالُوا بَلَىٰ وَرَبِّنَا ۚ قَالَ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ34

තවද ප්‍රතික්ෂේප කළවුන් (නිරා) ගින්න වෙත ඉදිරිපත් කරනු ලබන දිනයේ “මෙය සත්‍යය නොවේ ද” (යැයි විමසනු ලබති). “අපගේ පරමාධිපති මත දිවුරා (එය) එසේය” යැයි ඔවුහු පවසති. “එසේ නම් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් එම දඬුවම නුඹලා භුක්ති විඳිනු” යැයි ඔහු පවසයි.
46:35ජුස් 26 · පි. 506

فَاصْبِرْ كَمَا صَبَرَ أُولُو الْعَزْمِ مِنَ الرُّسُلِ وَلَا تَسْتَعْجِلْ لَهُمْ ۚ كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَ مَا يُوعَدُونَ لَمْ يَلْبَثُوا إِلَّا سَاعَةً مِنْ نَهَارٍ ۚ بَلَاغٌ ۚ فَهَلْ يُهْلَكُ إِلَّا الْقَوْمُ الْفَاسِقُونَ35

එහෙයින් දහම් දූතවරුන් අතුරින් දැඩි අධිෂ්ඨානයෙන් වූවන් ඉවසුවාක් මෙන් නුඹ ද ඉවසනු. තවද ඔවුන් සඳහා නුඹ ඉක්මන් නොවනු. ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ දෑ ඔවුන් දකින දින දහවල් කාලයේ හෝරාවක් මිස තමන් නතර නොවූවාක් මෙනි. (නුඹේ කාර්යය) දැනුම් දීමකි. පාපතර ජනයා හැර (වෙනත් කිසිවෙකු) විනාශ කරනු ලබන්නේද?

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න

Ahmad Nainaa - Al-Ahqaf · Tlawati