සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:155
وَاخْتَارَ مُوسَىٰ قَوْمَهُ سَبْعِينَ رَجُلًا لِمِيقَاتِنَا ۖ فَلَمَّا أَخَذَتْهُمُ الرَّجْفَةُ قَالَ رَبِّ لَوْ شِئْتَ أَهْلَكْتَهُمْ مِنْ قَبْلُ وَإِيَّايَ ۖ أَتُهْلِكُنَا بِمَا فَعَلَ السُّفَهَاءُ مِنَّا ۖ إِنْ هِيَ إِلَّا فِتْنَتُكَ تُضِلُّ بِهَا مَنْ تَشَاءُ وَتَهْدِي مَنْ تَشَاءُ ۖ أَنْتَ وَلِيُّنَا فَاغْفِرْ لَنَا وَارْحَمْنَا ۖ وَأَنْتَ خَيْرُ الْغَافِرِينَ
නියම කරන ලද අපගේ ස්ථානය සඳහා මිනිසුන් හැත්තෑවක් දෙනා මූසා තෝරා ගත්තේය. භූ කම්පනය ඔවුන් ග්රහණය කළ කල්හි ‘මාගේ පරමාධිපතියාණනි ! ඔබ අභිමත කළේ නම් මීට පෙරම ඔබ ඔවුන් හා මා විනාශ කරන්නට තිබුණි. අප අතුරින් අධමයින් කළ දෑ හේතුවෙන් ඔබ අප විනාශ කරන්නෙහි ද? මෙය ඔබේ පරීක්ෂණයක් මිස නැත. එමගින් ඔබ අභිමත කරන අය මුළා කරන්නෙහිය. ඔබ අභිමත කරන අයට මඟ පෙන්වන්නෙහිය. ඔබ අපගේ භාරකරුය. එබැවින් අපට සමාව දෙනු මැනව ! තවද අපට කරුණා කරනු මැනව ! තවද ඔබ සමාව දෙන්නන්ගෙන් ශ්රේෂ්ඨතමයාය’ යැයි ඔහු(මූසා) පැවසුවේය.
තෆ්සීර්
මූසා (අලය්හිස් සලාම්) තුමා, ඔහුගේ සමූහයා අතර සිටි අඥානයින් වසු පැටවා අදහමින් කළ ක්රියාවට ඔවුන්ගේ පරමාධිපති වෙත නිදහසට කරුණු ඉදිරිපත් කරනු පිණිස ඔවුන් අතර සිටි ශ්රේෂ්ඨ මිනිසුන් හැත්තෑ දෙනෙකු තෝරා ගත්තේය. ඔවුහු එහි සහභාගී විය යුතු නියමිත වේලාවක් අල්ලාහ් ඔවුනට පොරොන්දු විය. ඔවුන් සහභාගී වීම පිණිස අල්ලාහ් වෙත උනන්දුවෙන් ගිය කල්හි, තම දෑස් ඉදිරිපිට අල්ලාහ් ව පෙන්වන්නැයි මූසාගෙන් ඉල්ලා සිටියහ. එවිට මහා භූ චලනයක් ඔවුන් ග්රහණය කළේය. ඔවුන් කම්පනයට පත් ව භීතියට පත් වූහ. මූසා ඔහුගේ පරමාධිපති වෙත බැගෑපත් ව කණ්ණලව් කර, "මාගේ පරමාධිපතියාණනි! ඔවුන් වෙත පැමිණීමට පෙර, ඔවුන් හා මා විනාශ කරන්නට ඔබ අභිමත කළේ නම් ඔබ ඔවුන් විනාශ කරන්නට තිබුණි. අප අතර සිටි බුද්ධි හීනයන් සිදු කළ දෑ හේතුකොට ගෙන ඔබ අප විනාශ කරන්නෙහිද? මාගේ ජනයා වසු පැටවා නැමදුමට ගෙන එසේ ක්රියා කළේ විභාගයකට හා පරීක්ෂණයකට මිස නැත. ඔබ අභිමත කරන්නන් නොමග යන්නට ඉඩ හරින්නෙහිය. ඔබ අභිමත කරන්නන්හට ඔබ මඟ පෙන්වන්නෙහිය. අපගේ කටයුතු භාර ව සිටින්නා ඔබය. එහෙයින් අපගේ පාපකම් සඳහා ඔබ අපට සමාව දෙනු මැනව! ඔබේ පුළුල් දයාව තුළින් අපට කරුණා කරනු මැනව! වැරැද්ද නොසලකා හැර, පාපයට සමාව දෙන්නන්ගෙන් ඔබ අති ශ්රේෂ්ඨය." යැයීි කීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න