සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:154

ثُمَّ أَنْزَلَ عَلَيْكُمْ مِنْ بَعْدِ الْغَمِّ أَمَنَةً نُعَاسًا يَغْشَىٰ طَائِفَةً مِنْكُمْ ۖ وَطَائِفَةٌ قَدْ أَهَمَّتْهُمْ أَنْفُسُهُمْ يَظُنُّونَ بِاللَّهِ غَيْرَ الْحَقِّ ظَنَّ الْجَاهِلِيَّةِ ۖ يَقُولُونَ هَلْ لَنَا مِنَ الْأَمْرِ مِنْ شَيْءٍ ۗ قُلْ إِنَّ الْأَمْرَ كُلَّهُ لِلَّهِ ۗ يُخْفُونَ فِي أَنْفُسِهِمْ مَا لَا يُبْدُونَ لَكَ ۖ يَقُولُونَ لَوْ كَانَ لَنَا مِنَ الْأَمْرِ شَيْءٌ مَا قُتِلْنَا هَاهُنَا ۗ قُلْ لَوْ كُنْتُمْ فِي بُيُوتِكُمْ لَبَرَزَ الَّذِينَ كُتِبَ عَلَيْهِمُ الْقَتْلُ إِلَىٰ مَضَاجِعِهِمْ ۖ وَلِيَبْتَلِيَ اللَّهُ مَا فِي صُدُورِكُمْ وَلِيُمَحِّصَ مَا فِي قُلُوبِكُمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

අනතුරු ව එම තැවුලෙන් පසු ව නුඹලා වෙත අභයදායීත් ව ද නුඹලා අතුරින් පිරිසක් ආවරණය කරන සුළු නින්ද ද ඔහු පහළ කළේය. තවද පිරිසක් තමන් කෙරෙහි ම ශෝකය ඇති කර ගත්තේය. ඔවුහු අඥාන අනුමානයන් මෙන් අල්ලාහ් ගැන සත්‍ය නොවන දෑ සිතන්නෝය. මෙම විෂයෙහි යම් (ජයග්‍රාහී) කරුණක් අපට නොවන්නේ දැ යි පවසන්නෝය. සියලු කරුණු අල්ලාහ්ට යැයි පවසනු. නුඹට හෙළි නොකරන දෑ ඔවුහු ඔවුන්ගේ ආත්මාවන් තුළ සඟවා ගන්නෝය. අපට මෙම විෂයෙහි යම් බලයක් වී නම් අපි මෙහි මරුමුවට පත් නොවන්නෙමු යැයි පවසන්නෝය. නුඹලා නුඹලාගේ නිවෙස් වල සිටිය ද ඝාතනය කරනු ලැබීම නියම වූවන් ඔවුන් (මැරී) වැටිය යුතු ස්ථානයට පැමිණෙන්නේමය. තවද එය නුඹලාගේ හදවත් තුළ ඇති දෑ ඔහු පිරික්සනු පිණිස ය. තවද නුඹලාගේ සිත් තුළ ඇති දෑ පැහැදිලි කරනු පිණිස ය. හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානී ය.

තෆ්සීර්

වේදනා හා පීඩා විඳීමෙන් පසු ව සැනසුම හා ස්ථාවරභාවය ඔහු නුඹලා වෙත පහළ කළේය. නුඹලා අතුරින් අල්ලාහ්ගේ ප්රතිඥාව පිළිබඳ දැඩි විශ්වාසයෙන් පසු වූ පිරිසකට ඔවුන්ගේ හදවත් තුළ තැවෙමින් පැවති දෑ අභයදායී හා සැනසුමට පත් වන අයුරින් මද නින්දෙන් ආවරණය කළේය. තවත් පිරිසකගේ හදවත් අභයදායී තත්වයට පත් වන තරමට මද නින්ද හිමි වූයේ නැත. ඔවුන් තමන්ගේ වාසිය තකා මිස වෙනත් කිසිවකු පිළිබඳ වැදගත්කමක් නොදුන් කුහකයෝ වූහ. එහෙයින් ඔවුන් බියෙන් හා සැකයෙන් පසු වූහ. අල්ලාහ් පිළිබඳ නිවැරැදි ව තක්සේරු කර නොගත් අඥාන ජනයා සිතුවාක් මෙන් සැබැවින්ම අල්ලාහ් තම දූතයාණන්හට උදව් නොකරනු ඇතැයි ද ඔහුගේ ගැත්තන්හට පිහිට නොවනු ඇතැයිද ඔවුහු අල්ලාහ් පිළිබඳ වැරදි ලෙස සිතුවිලි ඇති කර ගත්හ. අල්ලාහ් පිළිබඳ අනවබෝධයෙන් පසු වූ කුහකයෝ මෙසේ පැවසූහ: ‘යුද්ධය සඳහා පිටවීම විෂයයෙහි අප දෙස බලන කිසිවකු නොසිටියි. එසේ අපට වී නම් පිටත් ව යන්නෙමු.’ නබිවරය, ඔබ ඔවුනට මෙසේ පිළිතුරු දෙනු: ‘සියලුම කරුණු පිහිටනුයේ අල්ලාහ් වෙනුවෙනි. ඔහු අභිමත දෑ සැලසුම් කරයි. ඔහු සිතන දෑ තීන්දු කරයි. නුඹලාට පිටත් වන්නට සැලැස්වූයේද ඔහු ය.’ නමුත් මෙම කුහකයෝ සැකය හා නරක සිතුවිලි තමන්ගේ සිත් තුළ සඟවා ගෙන සිටියහ. එය ඔබට හෙළි නොකර මෙසේ පවසා සිටියහ: ‘පිටත් ව යෑමේ අපට යම් කරුණක් පිහිටනුයේ නම් මෙම ස්ථානයේ අපි මරුමුවට පත් නොවන්නට තිබුණි.’ අහෝ! නබිවරය, ඔවුනට පිළිතුරු වශයෙන් ඔබ මෙසේ පවසනු. ‘මරණයට පත් වන හෝ ඝාතනයට ලක් වන ස්ථානයෙන් දුරස් ව නුඹලාගේ නිවෙස් වල නුඹලා සිටියද නුඹලා අතරින් කවරෙකු වෙත මරණය අල්ලාහ් තීන්දු කර ඇත්තේද ඔවුන්ගේ මරණය ඔවුනට සිදු වනු ඇත. අල්ලාහ් එය නියම කළේ නුඹලාගේ සිත් තුළ ඇති චේතනාවන් හා අරමුණු පරීක්ෂා කරනු පිණිසත් ඒ තුළ ඇති දේව විශ්වාසය හා කුහකත්වය වෙන් කර පෙන්වනු පිණිසත්ය. අල්ලාහ් තම ගැත්තන්ගේ හදවත් තුළ ඇති දෑ පිළිබඳ මැනවින් දන්නාය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.’

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න